Friday, 09 March 2018 11:16
"ගැටුම් ගිනිදැල් මැදින් නැගී සිටි සැබෑ මිනිසුන්"
පසුගිය දින කිහිපය තුළ මහනුවර සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර අද බ්‍රහස්පතින්දා (මාර්තු 08) පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ඉහත කී සැකකරුවන් අතර 'මහසෝන් බලකාය' ලෙස හඳුන්වනු ලබන සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන අමිත් ජීවන් වීරසිංහ නම් තැනැත්තකුද සිටින බවය.
දින කිහිපයක් පුරා මහනුවර ආශ්‍රිතව සිදුවන වර්ගවාදී ප්‍රහාර හේතුවෙන් ජිවිත හානි මෙන්ම දේපළ හානි රැසක් වාර්තා වී ඇත .
නිවාස, ව්‍යාපාරික ස්ථාන, රථ වාහන හා ආගමික ස්ථාන රැසකට ප්‍රහාර එල්ල කෙරුණ අතර එමගින් සිදු වූ අලාභය තවමත් ගණන් බලා නොමැති අතර ඒ සඳහා කඩිනමින් වන්දි ලබාදීමට කටයුතු කරන බව රජය පවසයි.
සිදු කළ අලාබ හානි පියවා ගැනීමට ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් ඇතුළු සෙසු ජනයාගේ බදු මුදල් යොදවමින් පෙරටත් වඩා හොඳින් එම ගොඩනැගිලි ඉදි කර දීමට රජය කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඔහුගේ සමාජ ජාල අඩවියේ පළකර ඇත.
EPAදේපල විනාශ කිරීම තමන් විසින් තමන්ම විනාශ කර, රට තවදුරටත් ණය උගුල්වල සිර කරන ක්‍රියාවක් බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පෙන්වා දෙයි.
මුස්ලිම් දේවස්ථාන, ව්‍යාපාරික ස්ථාන සහ නිවාස වලට සිදු කළ හානිය ගැන දැඩි අවධානයක් යොමු වෙමින් පවතිද්දී පෞද්ගලික දේපල,දේවස්ථාන සහ බෞද්ධ විහාරස්ථාන විනාශ කිරීම වළක්වමින් ඒවා ආරක්ෂා කළ සිංහල සහ මුස්ලිම් ආගමික නායකයන් සහ සාමාන්‍ය ජනතාව ගැන දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙයි.
"හිතවත! හිතවතිය! ඔබේ 'ගෙලිඔය' නගරය ආරක්ෂා කිරීම අප සියලු දෙනාගේ වගකීමයි. සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරත්වය කැටි කර ගෙන අපි ඉදිරියට යා යුතුයි. අපේ නගරය වගේම එහි ජීවත් වන සියලු දෙනා ආරක්ෂා කිරීම අපගේ වගකීමයි", සිංහල මුස්ලිම් ජනතාව එක්ව ජිවත්වන ගෙළිඔය නගරයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයේ ප්‍රචාරක රථය මෙවැනි නිවේදන නිකුත් කරමින් වීදී සංචාරයේ යෙදුණි.
"අපේ වටිනා නිවාස, ජිවිත ආරක්ෂා කර ගැනීම සහ ගැටුම් වලට නොයෑම අපේ යුතුකමයි. අපේ මනසට විෂබීජ දාලා. අපේ නගරය, රට විනාශ කරන වැඩපිළිවෙල අපි නැවැත්විය යුතුයි" යනුවෙන් නිවේදනය කළ එම ප්‍රචාරක රථය පැය කීපයක් ගෙලිඔය ප්‍රදේශයේ සංචාරය කරමින් සාමය ආරක්ෂා කිරීම පිළිබදව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර තිබුණි.
සබැඳී තොරතුරු:
සමාජ මාධ්‍යජාල මිනිසුන් එක් කිරීමටද?භේද කිරීමටද?
AFPතවදුරටත් ගැටුම් ඇති නොකර නිවාසවල රැඳෙමින් සිංහල හා මුස්ලිම් සමගිය ආරක්ෂා කර ගැනීමට සහයෝගය ලබා දෙන ලෙස අකුරණ ප්‍රදේශයේ පිහිටා තිබෙන මුස්ලිම් පල්ලියේ ශබ්දවාහිනිය මගින් දිගින් දිගටම නිකුත් කළ නිවේදන එහි සිටි මාධ්‍යවේදීන්ට අසන්නට ලැබුණි.
මුරුතලාව ප්‍රදේශයේ තම පල්ලිය ආරක්ෂා කිරීම සඳහා ප්‍රදේශයේ හිමිනමක් ඇතුළු සිංහල තරුණයන් පිරිසක් එහි රාත්‍රිය ගත කළ බව මුරුතලාව ප්‍රදේශයේ මුස්ලිම් ආගමික නායකයෙක් පවසයි.
නිවාස විනාශ වීම නිසා ඇතැම් මුස්ලිම් ජාතිකයන්ට නවාතැන් පහසුකම් ලබා දීමට ද ඇතැම් අසල්වැසි සිංහල නිවැසියන් ඉදිරිපත් වී ඇති බව දිගන ප්‍රදේශයෙන් වාර්තා විය.
මුල් සිද්ධියේදී ජීවිතය අහිමි වූ සිංහල සහ මුස්ලිම් තරුණයන්ගේ ඥාතීන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ මෙම මරණ හේතුකොටගෙන තවත් ගැටුම් නිර්මාණය කර නොගන්නා ලෙසයි.
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුළ ගතවූ පැය 18ක කාලය තුළ කිසිදු කළහකාරී ක්‍රියාවක් වාර්තා වී නොමැති නිසා, අද (මාර්තු 08) උදෑසන 10 සිට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත්කිරීමට තීරණය කර තිබේ.
මෙම සාමකාමී තත්වය හේතුවෙන් මහනුවර ප්‍රදේශයේ සාමාන්‍ය පරිදි සංචාරයේ යෙදිය හැකි අතර, දැනට එහි සිටින සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාල සීමාවේදී එහි සිටින සංචාරකයන්ට අවශ්‍ය නම් ප්‍රදේශයෙන් පිටවී යෑම සදහා විශේෂ බලපත්‍රයක් නිකුත් කිරීමට සංචාරක ප්‍රවර්ධන අධිකාරිය කටයුතු කර තිබුණි.
http://www.bbc.com/sinhala/sri-lanka-43331179
Friday, 09 March 2018 11:14
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ
මහනුවර හටගත් ආගමික ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවන් 81 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මහනුවර ප්‍රදේශයේ හටගත් ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු ලෙස සැලකෙන දැඩි මතධාරී බෞද්ධ සංවිධානයක් වන මහසෝන් බලකායේ නායක අමිත් වීරසිංහ ද ඒ අතර සිටින බව ශ්‍රී ලංකා පොලිසිය බීබීසී සිංහල සේවයට තහවුරු කළේය.
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක මුස්ලිම් විරෝධී සංවිධාන සඳහා දැඩි මතධාරී ඇතැම් බෞද්ධ භික්ෂුන්ගේ ද සහාය ලැබෙන අතර ඒ සඳහා නායකත්වය දෙනු ලබන තරුණයන් අතර අමිත් වීරසිංහ ද වෙයි.
ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමට පෙර මහනුවර දිගන ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණ සඳහා අමිත් වීරසිංහ නායකත්වය ලබා දෙන ආකාරය රූප දර්ශන ඔස්සේ දැකගත හැක.
බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර කියා සිටියේ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අමිත් වීරසිංහ ඇතුළු සැකකරුවන් නව දෙනෙකු බ්‍රහස්පතින්දා (මාර්තු 08) උදෑසන අත්අඩංගුවට ගනු ලැබූ බවය.
ප්‍රචණ්ඩ ක්‍රියාවලට සහභාගී වූ බවට සැක කෙරෙන සෙසු පුද්ගලයන් 71 දෙනා මහනුවර දිස්ත්‍රික්කයට අයත් විවිධ පොලිස් ස්ථාන විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මුස්ලිම් සහ බෞද්ධ ප්‍රජාවන්ට අයත් පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්ව ඇතැයි වාර්තා වී ඇති බවත් පොලිසිය පවසයි.
ගිනිබත් කෙරුණු නිවසක් තුළ තිබී 24 හැවිරිදි මුස්ලිම් තරුණයකුගේ මළසිරුරක් සොයා ගෙන ඇති බව සඳහන් කරන පොලිසිය, බෞද්ධ තරුණයෙක් ඔහු ළඟ තබා ගත් අත්බෝම්බයක් පුපුරා යාමෙන් මිය ගොස් ඇති බව සඳහන් කළේය.
තවත් එකොළොස් දෙනෙකු රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක ප්‍රචණ්ඩකාරී ක්‍රියා හට ගැනුණේ දෙදරු පියෙකු වූ එම්.ජී කුමාරසිංහ නැමැත්තෙකුට පෙබරවාරි අගභාගයේ දිනෙක තෙල්දෙණිය නගරයේ ඉන්ධන පිරවුම්හලක් අසළදී මුස්ලිම් කණ්ඩායමක් විසින් පහරදෙන ලදුව මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වීමත් සමගය.
- මහනුවර ආගමික ප්‍රචණ්ඩ ක්‍රියා "හුදෙකලා සිදුවීමක් නොවෙයි"
- සමාජ මාධ්‍යජාල මිනිසුන් එක් කිරීමටද?භේද කිරීමටද?
- ගැටුම් අතර දුටු මිනිසත්කම
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුළ ගතවූ පැය දහඅටක කාලය තුළ කිසිදු කළහකාරී ක්‍රියාවක් වාර්තා වී නැති බව ආරක්ෂක අංශ පවසයි.
ඒ අනුව බ්‍රහස්පතින්දා (මාර්තු 08) උදෑසන දහයේ පටන් ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත්කිරීමට තීරණය කර තිබේ.
කෙසේ නමුත් ආරක්ෂක කරුණු මත බ්‍රහස්පතින්දා සවස 06.00 සිට සිකුරාදා උදෑසන 06.00 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුළ යළි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
http://www.bbc.com/sinhala/sri-lanka-43333317